2017/01/07

2016 උසස් පෙළ ප්‍රථමයන් මෙන්න

2016 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද අලූයම අන්තර්ජාලයට මුදාහැරීමෙන් පසු එම විභාගයේදී එක් එක් විෂය ධාරාවන්ගෙන් ඉහළම කුසලතා දැක්වූවන්ගේ නාම ලේඛනය මේ වන විට එළිදක්වා තිබෙනවා. 
  
ජීව විද්‍යා අංශයෙන් ප‍්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ මාතර රාහුල විද්‍යාලයේ ආර්. නිසල් පුන්සරයි. දෙවන ස්ථානය ලබාගත්තේ දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ රොෂේන් අක්තාර්. දෙමළ මාධ්‍යයෙන්ම විභාගයට පෙනී සිටි කල්මුණේ කාමේල් ෆාතිමා විද්‍යාලයේ ක්ලෙරින් දිලූජාන් තුන්වන ස්ථානය ලබාගෙන තිබෙනවා. 

භෞතික විද්‍යා අංශයෙන් ප‍්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි කුරුණෑගල මලියදේව බාලිකා මහා විද්‍යාලයේ කේ.ඞී.එම්. අමායා ධර්මසිරියි. ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ යූ. චතුර ජයසංඛ දෙවන ස්ථානය ද කොළඹ රාජකීය විද්‍යාලයේ එම්.බී. සවිඳු දිමාල් තානුක තුන්වන ස්ථානය ද ලබාගෙන තිබෙනවා. 

වාණිජ අංශයෙන් ප‍්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ එම්.එම්.ඒ. මුදිත අකලංක රාජපක්ෂයි. තමන් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ඔහු අනාගතයේ විභාගවලට පෙනී සිටින්නන්ට මගපෙන්වීමක් ද ලබාදුන්නා. දෙවන ස්ථානය ලබාගෙන ඇත්තේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි කොළඹ 10 ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඔනිල් වින්දුල පෙරේරායි. හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ ඒ. නිපුනි ධනංජනී රූපසිංහ තුන්වන ස්ථානය ලබාගෙන තිබෙනවා.

කලා අංශයෙන් පළමුවැන්නා බිහි වී ඇත්තේ මහනුවරින්. ඒ, ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආර්. ඉන්දීවරී ගවරම්මානයි.  දෙවන ස්ථානය ලබාගෙන ඇත්තේ දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි යාපනය හින්දු විද්‍යාලයේ පද්මනාදන් කුරුපරෙෂාන්. කිරිබත්ගොඩ විහාරාමහාදේවී බාලිකා මහා විද්‍යාලයේ යූ.ඩබ්ලිව්. අමන්දා පාරමී කල්පශාක්‍ය තුන්වන ස්ථානය ලබාගෙන තිබෙනවා.

ඉංජිනේරු තාක්ෂණවේදයෙන් ප‍්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි චුන්නාක්කම් ස්කන්දවාරෝදය විද්‍යාලයේ කනකසුන්දරම් ජතුරුසාජන්. මාතලේ විද්‍යා විද්‍යාලයේ කේ.ඩබ්ලිව්. නිසල් කොබ්බෑකඩුව දෙවන ස්ථානය ද ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ අංජලී රණතුංග තුන්වන ස්ථානය ද ලබාගෙන තිබෙනවා. 

ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් පළමුවැන්නා බිහි වී ඇත්තේ කෑගල්ලෙන්. ඒ, ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ මලිති ශෂිකලා දිල්රංගියි. කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ මයුමි තත්සරණි දෙවන ස්ථානය ද ඔඞ්ඩමාවඩි මධ්‍ය මහා විද්‍යාලයේ ඉල්ලෙයාස් ෆාතිමා තුන්වන ස්ථානය ද ලබාගෙන තිබෙනවා.

වෙනත් විෂය ධාරාවන් යටතේ ප‍්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ තිලාරා ඒකනායකයි. දෙවන සහ තුන්වන ස්ථාන දෙකම පෞද්ගලික අයදුම්කරුවන්ට ලැබී තිබීම විශේෂත්වයක්. තුම්මෝදර පදිංචි ධනංජය විමුක්ති කරුණාරත්න දෙවැනියා ද ගාල්ලේ පදිංචි කේ.එස්. ලහිරු සසංක තුන්වෙනියා ද වී තිබෙනවා.