2017/04/06

අමරපුර මහ නාහිමියෝ දැයෙන් සමුගනිති

අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහ නිකායේ මහනායක අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර හිමියන්ගේ ශ‍්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය අද (අප්‍රේල් 06) සිදු කෙරුණා. ඒ, කොළඹ නිදහස් චතුරස‍්‍රයේදීයි. ශ‍්‍රී දේහය නුගේගොඩ පාගොඩ ශ‍්‍රී විජයාරාමයේ සිට රථ පෙරහැරකින් කොළඹ නිදහස් චතුරස‍්‍රය වෙත වැඩම කෙරුණා. ගුවනින් ද ශ‍්‍රී දේහයට පුෂ්පෝපාහාර පිරිනැමීම විශේෂත්වයක්. ත‍්‍රිවිධ හමුදා උත්තමාචාර ලෙස වෙඩි මුර 17ක් ද පැවැත්වුණා. අවමංගල සභාවේ කටයුතු සිදු කෙරුණේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන්. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර හිමියන්ගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට සිදු වූ දැරිය නොහැකි පාඩුවක් බවයි. 
සෙසු නිකායන්හි මහ නා හිමිවරුන්ද, හින්දු ඉස්ලාම් හා ක‍්‍රිස්තියානි පූජකවරුන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. ශ‍්‍රී දේහය චිතකයේ තැන්පත් කෙරුණේ මහා සංඝරත්නය සහ දායක දායිකාවන් විසින්. චිතකයට ගිනි දැල්වීම ද හමුදා උත්තමාචාර සහතිව සිදු කෙරුණා.