2017/02/11

හෙළ විරුවන්ට නැතිවූ අභිමානය යළි ලබාදීමට පංච පුද්ගල කමිටුවක්

අධිරාජ්‍යවාදීන් විසින් රාජද්‍රෝහීන් ලෙස නම් කළ හෙළ විරුවන් ජාතික වීරයින් ලෙස නම් කිරීම පිළිබද සොයා බැලීම සදහා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. අධිකරණ අමාත්‍යංශය විසින් පත්කරන ලද මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ මාලනී ඇදගම මහත්මියයි. 

ඉංග‍්‍රීසීන්ට එරෙහි 1818 කන්ද උඩරට නිදහස් සටන හා 1848 ඌව වෙල්ලස්ස නිදහස් සටනට නායකත්වය දුන් හෙළ විරුවන් පිළිබදවයි මෙහිදී සොයා බැලෙන්නේ. එවකට පැවති ඉංග‍්‍රීසි ආණ්ඩුව විසින් මෙම හෙළ විරුවන් රාජද්‍රෝහීන් ලෙස නම් කර ගැසට් පත‍්‍රයක් ද නිකුත් කර තිබුණා. 

මෙම කමිටුව විසින් අදාළ ගැසට් පත‍්‍රය හා ඊට අදාළ තොරතුරු අධ්‍යයනය කර නිර්දේශයන් ඉදිරි දිනවලදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට ලබාදෙනු ඇති බවයි අමාත්‍යංශය පැවසුවේ. 1818 හා 1848 ජාතික සටන්වලට නායකත්වය දුන් ජාතික වීරයින්ගේ පවුල්වලට සම්බන්ධ හා ඒ පිළිබද තොරතුරු ගවේෂණය කළ පුද්ගලයින්ගේ හෝ සංවිධාන ඇත්නම් එම තොරතුරු අදාළ විද්වත් කමිටුවට ඉදිරිපත් කිරීමට ද අවස්ථාවක් ලබා දී තිබෙනවා. එම තොරතුරු පෙබරවාරි 20 වෙනිදාට පෙර අධිකරණ අමාත්‍යංශය වෙත යොමු කරන ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

1818 කන්ද උඩරට ප‍්‍රථම නිදහස් සටනට නායකත්වය දුන් වීර කැප්පෙටිපොළ නිලමේ ඇතුළු ප‍්‍රධාන විරුවන් 19 දෙනෙකු රාජද්‍රෝහීන් ලෙස නම් කළ ගැසට් පත‍්‍රය මීට පෙර ජනාධිපතිවරයා විසින් අහෝසි කරනු ලැබුවා.